1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

සමෙහි ව්‍යුහය

මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම ශරීරය සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් වර්ග මීටර් 1.5 ත් 2ත් අතර ප්‍රමාණයක් සම පැතිර පවතින ආසන්න වශයෙන්  4 Kg ත් 5 Kg ත් අතර ප්‍රමාණයක් බරින් යුක්තය. එය ශරීරයේ සමස්ත බරින් 16% පමණ වේ.

ශරීරයේ බාහිර ආවරණය වන සම බාහිර පරිසරයෙන් ශරීරය ආරක්ෂා කරයි. යාන්ත්‍රික, රසායනික, විස ද්‍රව්‍ය වලින් වගේම අහිතකර බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් මගින් ශරීරයට සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා කරනවා. 

සමේ ව්‍යුහය


සමෙහි කෘත්‍යයන්


🔸හානිදායක, බාහිර සාධක මගින් ශරීරය ආරක්ෂා කරයි

🔸ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට දායක වේ
🔸බාහිරින් ශරීරයට උත්තේජන ලබා ගනී
🔸ප්‍රතිශක්තිකරණය පවත්වාගෙන යෑමට දායක වේ
🔸රුධිරය සංචිතයක් ලෙසින් පවත්වා ගැනීමට දායක වේ
🔸ශරීරයේ ජලය රඳවා ගැනීමට දායක වේ
🔸විටමින් ඩී නිපදවීමට දායක වේ
🔸යූරියා, ලවණ වැනි ඇතැම් ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කරන බහිස්ස්‍රාවී කෘතියක් ඉටු කරයි


සමෙහි ව්‍යුහය


සම ප්‍රධාන ස්ථර තුනකින් සමන්විත වේ

🔹අපිචර්මය ( Epidermis)
🔹චර්මය ( Dermis)
🔹අධශ්චර්මය ( Hypo dermis / Subcutaneous tissue)


සමෙහි ස්ථර 


🔷අපිචර්මය - Epidermis

සමෙහි පිටතම ආවරණය වන මෙය මිලිමීටර් එකක පමණ සාමාන්‍ය ඝනකමකින් යුක්තය. අපිචර්මය දවස් 28ක සෛල චක්‍රය කින් යුක්තය. එනම් සෑම දවස් 28 ක් වන විට නව සෛල ස්ථරය  සෑදී අවසන් වේ. අත්ලේ සහ පත්ලේ වැනි ස්ථානවල වඩා ගණකම් ය. සෛල ස්ථර පහකින් යුක්තය.
අපිචර්මයෙහි ඇතැම් සෛල පහත පරිදි වේ.


🔸කෙරටිනෝසයිට ( Keratinocytes ) - කෙරටීන් නිපදවන සෛල වන අතර සමට තදභාවයක් ලබා දෙයි. සමෙහි ජලය රඳවා ගැනීමට දායක වේ
🔸මෙලනොසයිට ( Melanocytes ) - මෙලනින් නිපදවන සෛල වන අතර සමට වර්ණයක් ලබා දෙයි. සූර්ය විකිරණ වලින් ආරක්ෂා වීමට මෙලනීන් දායකවේ.
🔸මර්කල් ( Merkel ) සෛල- ස්පර්ශයට සංවේදී සෛල වේ.
🔸ලැන්ගහෑන් ( Langerhans ) සෛල- ප්‍රතිශක්තිකරණ පද්ධතියට දායකවන සෛල වෙයි



🔷චර්මය - Dermis

මෙය ප්‍රධාන ස්ථර තුනකින් සමන්විත වේ.

▫️️Papillary Dermis
▫️️Reticular Dermis
▫️️Deep Dermis


ඉහළම ආස්තරණය වන අපිචර්මය ස්ථරයට වඩා ඝනකමින් වැඩිය. සමෙහි ව්‍යුහයට ශක්තිමත් භාවය සහ ප්‍රත්‍යස්ථතාවය ලබාදෙන්නේ මෙම ස්ථරය මගින්ය. ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යාස්ථ තන්තු සම්බන්ධක පටක ( Fibroblastic Connective Tissue ) මගින් තැනී ඇත. තන්තුවලින් 75% කට වැඩි ප්‍රමාණයක් කොලජන් ( Collagen ) තන්තු වන අතර රෙටිකියුලීන් ( Reticulin) සහ ඉලාස්ටීන් (Elastin) තන්තු වලින්ද යුක්ත වෙයි. මෙහි තන්තු සාවී සෛල වන (Fibroblast) පවතින අතර ප්‍රෝටීන් ලෙස ( Glycoproteins) පවතී.

චර්මයට සහ අපිචර්මයට අවශ්‍ය පෝෂණය සපයන්නේ මෙහි ඇති රුධිර නාලිකා මගිනි. එම නිසා තුවාල සුව වීමට වැදගත් කාර්යයක් ඉටු කරන්නේ මෙම කොටසයි. මෙහි ස්පර්ශයට, පීඩනයට අදාල ප්‍රතිග්‍රාහක ස්නායු අග්‍ර හඳුනාගත හැක. මීට අමතරව

▪️රෝම කූප
▪️ස්නේහස්‍රාවී ග්‍රන්ථි
▪️ස්වේද ග්‍රන්ථි
▪️ස්නායු තන්තු

▪️රුධිර නාලිකා
▪️වසා නාලිකා


යන කුඩා ඉන්ද්‍රීන් සහ සම්බන්ධක කොටස් චර්මය තුළ ජාලයක් ලෙසින් පැතිරී ඇත. වයසට යාමේදී මෙහි ඇති තන්තු වල ඇතිවන වෙනස්කම් නිසා සම රැලි වැටීම සිදුවේ. 


🔷අධශ්චර්මය - Hypodermis / Subcutaneous tissue


සමෙහි ගැඹුරුම ස්ථරය වන අධශ්චර්මය ප්‍රධාන වශයෙන් මේද පටක සහ රුධිරවාහිනී වලින් සෑදී ඇත. ශරීරයේ එක් එක් ස්ථානය අනුව මෙහි පවතින මේද ප්‍රමාණය සහ රුධිර වාහිනී ප්‍රමාණයන් වෙනස් වෙයි. මෙහි ඇති මේද පටක මගින් ශක්තිය ගබඩා කිරීම සහ යාන්ත්‍රික කම්පන මගින් ශරීරයට හානි වීම අවම කරයි. ශරීරය උෂ්ණත්වය පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන්ම දායක වේ.

සමෙහි හරස්කඩ
~ස්වාභාවික සුවය~ රූ රහස්~ 
අවසරයෙන් තොරව උපුටා ගැනීම තහනම්

Comments

අපට ලියන්න

Name

Email *

Message *