1 / 3
ස්වාභාවික රූ රහස්
2 / 3
ඔබම දැනගන්න
3 / 3
නිවසේදීම අත් හදාබලන්න

Advertisement

හිසකෙස් වර්ගය හඳුනාගන්නා ආකාරය

Hair Types


හිසකෙස් සදහා විවිධ වර්ගයේ නිෂ්පාදන ඔබ භාවිතා කරන්නේ ඔබගේ හිසකෙස්වලට නිවැරදව ගැළපෙනවාද,  නැද්ද කියලා දැනගෙන ද?

එහෙම නොවුණොත් නම් ඔබට අවශ්‍ය ප්‍රතිඵලය එම නිෂ්පාදනයෙන් ලැබෙන්නේ නැහැ. අපි නිරන්තරයෙන් ඔබව උනන්දු කරන්නේ ස්වාභාවික නිෂ්පාදන භාවිත කරන්න කියලා. සමහර දේවල් ගෙදරදි හදා ගන්නත් පුළුවන්. හැබැයි ඒ මොනවා  භාවිතා කලත් ඔබගේ හිසකෙස් වර්ගය හඳුනා ගැනීම වැදගත්.

එක් එක් පුද්ගලයාගේ
 හිසකෙස් විවිධ ආකාරයෙන් වර්ග කරන්න පුළුවන් හිසකෙස් ඝනත්වය, හිස් කබලෙහි පැතිර ඇති වර්ගඵලය, තෙල් ගතිය, සවිවර භාවය, ශක්තිමත්භාවය, ඇදීමේ ස්වභාවය, කැරලි ස්වභාවය මේ වගේ ගොඩක් ආකාර විදියට හිසකෙස් වර්ග කරන්න පුළුවන්. අපි බලමු හැකි අයුරින් මෙම විග්‍රහ කරන්න

💠හිසකෙස් ඝනත්වය ( Hair Density)


හිසකෙස් ඝනත්වය කියන්නේ හිසකෙස් කුමන ප්‍රමාණයක් ඒකක පරිමාවක අඩංගු වෙනවද කියන එක. මේක හැබැයි හිසකෙස් ගසක ඝනකමින් එහෙමත් නැත්නම් කෙස් ගසක මහතින් වෙනස් වෙනවා. කෙස් ගසක මහත වැඩියි නම් හිසකෙස් ඝනත්වය සමහරවිට අඩු වෙන්න වුණත් පුළුවන්. ඒ කියන්නෙ හිසකෙස් අඩු ප්‍රමාණයක් තමයි එක මිටකට ගත්තම අතට අහුවෙන්නෙ. හැබැයි එක කෙස් ගසක ඝනත්වය/මහත අඩුයිනම් ඒ කියන්නේ සිහින් තුනී කොණ්ඩයක් නම් තියෙන්නෙ වැඩි හිසකෙස් ප්‍රමාණයක් එක් මිටකට අහුවෙන්න පුළුවන් එතකොට කියන්නේ හිසකෙස් ඝනත්වය වැඩියි කියලා. හැබැයි මේක හැම තිස්සෙම එකම වගේ ගැලපෙන්නෙ නැහැ.

හිසකෙස් ඝනත්වය ආකාර තුනකින් දක්වන්න පුළුවන් තුනී ඝනත්වයෙන් යුත් හිසකෙස්, මධ්‍යම ඝනත්වයකින් යුත් හිසකෙස්, ඝනත්වයෙන් වැඩි හිසකෙස්
මේක පරීක්ෂා කරන සරල උපක්‍රමයක් දක්වන්නම්


තරමක් ලොකු හිසකෙස් අහුරක් අතින් අරගෙන පැත්තකට කරල අල්ල ගෙන බලන්න. මේකෙදි බලන්න ඕන අතට ගත්ත හිසකෙස් අහුර අතරින් හිස් කබල කොයිතරම් පෙනෙනවද කියලා.


🔹තුනී ඝනත්වයෙන් යුත් හිසකෙස්- අතට ගත් කෙස් අහුර අතරින් පහසුවෙන් හිස්කබල පේනවා. ඒකෙන් කියන්නේ ඔබගේ හිසකෙස්, හිස් කබලේ ඈතින් ඈතින් තමයි පිහිටලා තියෙන්නේ.

🔹මධ්‍යම ප්‍රමාණයේ ඝනත්වයෙන් යුත් හිසකෙස් - වඩා පහසුවෙන් නැතත් යම්කිසි ප්‍රමාණයකට අතටගත් හිසකෙස් අහුර අතරින් හිස්කබල පේනවා. එසේනම් ඔබට ඇත්තේ මධ්‍යම ප්‍රමාණයෙ ඝනැකමකින් යුත් හිසකෙස්.


🔹ඝනත්වයෙන් වැඩි හිසකෙස් - අතට ගත් කෙස් අහුර අතරින් හිස් කබල ලෙහෙසියෙන් බලාගන්න බැරිනම් ඔබට ඇත්තේ ඝනත්වයෙන් වැඩි හිසකෙස්.




💠කෙස් ගසක මහත ( Hair Diameter)


එක් එක් කෙස් ගසක මහත අනුවත් හිසකෙස් වර්ගය වෙන් කරන්න පුළුවන්හිස් වර්ගය තෝරා ගැනීමේදී වඩාත්ම සුදුසු ක්‍රමය මෙයයි තුනී හිසකෙස්, මධ්‍යම හිසකෙස් සහ මහත හිසකෙස් යනුවෙන් වර්ග තුනක් අඳුරගන්න පුළුවන්

Hair Diameter
එක කෙස් ගසක් මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ල අතරින් අල්ලා ගත්තාම මේ ගැන පරීක්ෂා කරන්න පුළුවන්

🔹තුනී හිසකෙස් - තනි කෙස් ගසක් ඇගිලි දෙක අතරෙදි හොඳින් දැනෙන්නෙ නැත්නම් ඔබට ඇත්තේ තුනී හිසකෙස් සමහර වෙලාවට පහසුවෙන් දැක ගන්නත් බැරි තරම් තුනී වෙනවා.

🔹මධ්‍යම හිසකෙස් - තරමක් හොඳින් ඇඟිලි දෙක අතරෙදි දැනෙන හිසකෙස් මධ්‍යම ප්‍රමාණ හිසකෙස් කියලා හදුන්වනවා


🔹ඝන හිසකෙස්- ඉතා හොඳින් ඇඟිලි දෙක අතරට දැනෙන හිසකෙස් ඝන හිසකෙස් විදියට හඳුන්වනවා. මේවා ශක්තිමත් භාවයෙන් වැඩියි.


ඇඳුම් මැසීමට ගන්නා නූලක් අරගෙන උනත් මේක බලාගන්න පුළුවන්. නුල එක්ක සසඳා බලනකොට නූලට වඩා මහතින් යුත් නම් බොහෝවිට ඝනකමින් වැඩි හිසකෙස් විදියටත්, නූල තරම්ම වගේනම් මධ්‍යම ප්‍රමාණය හිසකෙස් විදියටත්, නූලට වඩා සිහින් බවින් අඩුයි නම් තුනී හිසකෙස් විදියටත් දළවශයෙන් අදහසක් ගන්න පුළුවන්. රූපලාවන්‍ය ශිල්පීන්ට නම් මේක ඉතාම පහසුවෙන් හඳුනාගන්න පුලුවන්.



💠තෙතමනය රඳවා ගැනීමේ හැකියාව/ සවිවර භාවය ( Porosity)


හිසකෙස් වලට තෙතමනය, උරා ගැනීමේ සහ රඳවා ගැනීමේ හැකියාව රඳාපවතින්නේ මෙමගින්. වැඩි සවිවර භාවයක් ඇත්නම් ඔබ හිසට යොදන ආලේපන ඉතා ඉක්මනින් උරා ගන්නවා. මෙමගින් ඇතැම්විට හිසකෙස්වලට හානි සිදු වෙන්නත් පුළුවන්. මේ නිසා ඔබගේ හිසකෙස් වල සවිවර භාවය හඳුනාගැනීම මගින් වඩාත් ගැලපෙන නිෂ්පාදනය තෝරා ගන්න ඔබට පුළුවන්. වතුර වීදුරුවකට හිසකෙස් කිහිපයක් දැමීමෙන් ඔබට මෙය අඳුනාගන්න පුළුවන්.
මෙය ආකාර තුනකට වෙන් කරන්න පුළුවන්


Test for Porosity

🔹වැඩි තෙතමනය රඳවා ගත හැකි හිසකෙස්-
වතුර වීදුරුවට එක්කල කෙස් යටට කිඳා බහිනවා නම් ඔබට ඇත්තේ වැඩි තෙතමනයක් සැඟව රඳවා ගත හැකි කෙස් වර්ගයක්. මෙම කෙස් ඉක්මනින්ම හානි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. හිසට යොදන ආලේපන ඉක්මනින්ම උරාගන්නවා. ඔබ ස්නානය කළායින් පසුව අනිත් අයට වඩා ඉක්මනින් හිස වේලෙනවා. නිතරම විෂ රසායනික ඇති ආලේපන ගැල්වීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ නිසා මේ වගේ හිසකෙස් ඇති අය ටිකක් පරිස්සම් වෙන්න ඕන.

🔹මධ්‍යස්ථ හෝ සාමාන්‍ය තෙතමනය රඳවා ගත හැකි කෙස්-
ඔබගේ හිසකෙස් වතුර වීදුරුවට දැමූ පසු එහි තරමක් ගිලිහී පා වෙනවා නම් ඔබට ඇත්තේ සාමාන්‍ය සවිවර ස්වභාවයක් සහිත හිසකෙස්. මේ වගේ හිසකෙස් ඇත්නම් කොණ්ඩය අවශ්‍ය තරමට තෙතමනය රඳවා ගන්නවා. සාමාන්‍යයෙන් කොන්ඩගස් කැඩෙනවා අඩුයි. ඒ වගේමයි කොණ්ඩ මෝස්තරයක් දාන්න ඒක පවත්වාගෙන යන්න එතරම් අපහසුවක් නැහැ.

🔹අඩු තෙතමනයක් රදවා ගන්න හැකි හිසකෙස්-
වතුර වීදුරුවකට දැමූ හිසකෙස් එහි මතුපිට පාවෙනවා නම් ඔබට ඇත්තේ අඩු තෙතමනයක් රදවා ගත හැකි හිසකෙස්. මේ වගේ හිසකෙස් ඇති අයගේ හිස වියලීමට ගොඩක් වෙලා යනවා. හිසට යොදන ආලේපන හිසකෙස් වලට උරාගැනීමටත් ගොඩක් වෙලා යනවා. මේ නිසා හිසකෙස් ඇලෙන ස්වභාවයක් ගන්නවා.


Porosity

💠 හිසකෙස් වල තෙල් ස්වභාවය ( Hair Greasiness)


ඔබගේ හිසකෙස් වල කෙතරම් තෙල් ගතියක් තියෙනවද කියල ඔබ දන්නවනම් හිස සේදීමට අවශ්‍ය කාලසීමාව වුනත් වඩා හොඳින් නිර්ණය කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔබ හිසට යොදන්න වඩාත්ම සුදුසු නිෂ්පාදන තෝරා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා.හිසකෙස් වල තෙල් ස්වභාවය පරීක්ෂා කර ගැනීම සඳහා ඔබ හොඳින් ස්නානය කිරීමෙන් පසුව සාමාන්‍ය පරිදි කොණ්ඩය වේළෙන්න ඉඩදෙන්න. අනතුරුව ටිෂූ කඩදාසියක් අරගෙන හිසෙ මැද තබා ඇඟිල්ලෙන් තද කරන්න. ටිෂූ කඩදාසියේ වෙනත් කිහිප ස්ථානයක් කන් දෙක පිටිපස්සෙත් තබා තද කරන්න. දැන් එම ටිෂූ කඩදාසියේ ඇති වී තිබෙන තෙල් පැල්ලම මගින් හිසේ තෙල් ස්වභාවය තීරණය කරන්න පුළුවන්.

🔹තෙල් ගතිය වැඩි කොන්ඩය - තරමක් විශාල පැතිරුණු පැහැදිලි තෙල් පැල්ලමක් ඇත්නම් ඔබේ හිසකෙස් වඩාත් තෙල් ගතියෙන් යුක්තයි. සතියට හතර පස් වතාවක් අඩුම තරමින් ස්නානය කරන්න වෙනවා.


🔹සාමාන්‍ය කොන්ඩය - යන්තමින් අපැහැදිලි තෙල් පැල්ලමක් ඇත්නම් ඔබගේ කොන්ඩය සාමාන්‍ය තෙල් ස්වභාවයකින් යුක්ත වෙනවා. අඩුම තරමින් සතියකට දෙවරක් පමණ ස්නානය කිරීම ප්‍රමාණවත්.


🔹වියලි කොණ්ඩය- කිසිදු තෙල් පැල්ලමක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔබේ කොණ්ඩයේ තෙතමනය අඩු බව මෙයින් කියවෙනවා. ඔබ මිලදී ගත යුත්තේ තෙල් ස්වභාවය හිසකෙස්වල රඳවාගත හැකි වර්ගයේ නිෂ්පාදන යි.


🔹මිශ්‍ර වර්ගයේ කොන්ඩය- එක් ස්ථානයක තෙල් ගතියටත් තවත් ස්ථානයක වියලි ගතියටත් තෙල් පැල්ලම් සටහන් වී ඇත්නම් ඔබට ඇත්තේ මිශ්‍ර වර්ගයේ කොණ්ඩයක්.



💠හිසකෙස් වල ඇදීමේ ගතිය/ ප්‍රත්‍යස්ථතාවය (Hair Elasticity)


මෙමගින් කියවෙන්නේ කෙස්ගසක් නැවත සාමාන්‍ය තත්වයට පත්වීමට පෙර දෙපසට ඇදිය හැකි උපරිම ප්‍රමාණයයි.එමගින් හිසකෙස් වල නිරෝගීභාවය මනාව පැහැදිලි කරනවා. වැඩි ප්‍රත්‍යාස්ථතාවයක් සහිත හිසකෙස්, වඩා දිලිසෙන සහ දෙපසට පැදීමේ හැකියාව වැඩි, ශක්තිමත් හිසකෙස් ලෙසින් සලකනවා.ඔබට මෙය පරික්ෂා කර ගැනීම සඳහා තෙත කෙස් ගසක් ගෙන හැකි උපරිම ප්‍රමාණයකට සෙමින් දෙපසට ඇදීමෙන් බලාගන්න පුළුවන්.


Hair Elasticity


🔹ප්‍රත්‍යස්ථතාවය වැඩි කෙස- ඉක්මනින් කැඩී නොයා වැඩි ඇදීමකට ලක් කරන්න පුළුවන් හිසකෙස් වැඩි  ප්‍රත්‍යාස්ථතාවයකින් යුක්ත හිසකෙස් ලෙසින් සලකනවා (එනම් වැඩි ශක්තිමත් බවකින් යුක්ත හිසකෙස්). තෙතමනය සහිත හිසකෙස්  50% දක්වා ප්‍රමාණයක් ඇඳිය හැකි නම් එම හිසකෙස් ඉතා හොඳ කෙස් ලෙසින් සලකනවා. එසේම රළු හිසකෙස්ද නිතරම වැඩි ප්‍රත්‍යාස්ථතාවයකින් යුක්ත වෙනවා.

🔹මධ්‍යස්ථ ප්‍රත්‍යාස්ථතාවයකින් යුක්ත හිසකෙස්- වැඩි ඇදීමකට ලක් කළ නොහැකි එසේම ඉක්මනින්ම බිදී නොයන සාමාන්‍ය හිසකෙස් මධ්‍යස්ථ ප්‍රත්‍යාස්ථතාවයකින් යුක්ත හිසකෙස් ලෙසින් හඳුන්වනවා. බොහෝ දෙනාට ඇත්තේ මෙවැනි වර්ගයේ හිසකෙස්. මෙවැනි වර්ගයේ හිසකෙස් සුදුසු Hair Mask සහ තෙල් ( Hair Oil) භාවිතයෙන් වඩා ශක්තිමත් කරන්න පුළුවන්.

🔹අඩු ප්‍රත්‍යාස්ථතාවයකින් යුක්ත හිසකෙස්-ඉක්මනින්ම හිසකෙස් බිඳී යනවා නම් එවැනි හිසකෙස් අඩු ප්‍රත්‍යාස්ථතාවයකින් යුක්තයි. මෙවැනි හිසකෙස් සදහා වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මෙවැනි හිසකෙස් සඳහා අහිතකර සැර රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතයෙන් ඉවත් කළ යුතුය. හිසකෙස් ශක්තිමත් කරන ගැලපෙන ස්වභාවික ෂැම්පු භාවිතය කළ යුතුය.



💠කැරලි ස්වභාවය ( Curly Patten)


මෙමඟින් බලන්නේ හිසකෙස් සම්පූර්ණයක් විදියට බාහිරට පේන විදිය යි. එය කැරලි( Curly) , තරංග/ රැළි රැළි ආකාර ( Wavy),  සෘජුව ( Straight), හෝ අක්‍රමවත් (Kinky) විය හැකියි. කෙස් ගසෙහි මූලය සහ කෙස් ගසෙහි බඳ මගින් මෙම වෙනස්කම් තීරණය කරනවා.



Curly Patten



🔹ඍජු කොණ්ඩය ( Straight Hair )
ස්වාභාවික සෘජු කොණ්ඩෙ එහි කිසිදු කැරලි ස්වභාවයක් නැහැ. කෙස් ගස් මුලෙහි පටන් අවසානය දක්වා සෘජුව පවතිනවා. මෙම කෙස් ගස් ඉතා සිනිඳු එසේම ඉතා දීප්තිමත්. වඩා හොඳ කොණ්ඩයක් ලෙසින් සලකනවා. එසේම හිසකෙස්වල වැඩි තෙල් ප්‍රමාණයක් අඩංගු වෙනවා. මෙම කොණ්ඩය තවත් උපආකාර තුනකට බෙදන්න පුළුවන්.


🔹තරංගාකාර/ රැලි රැලි සහිත කොණ්ඩය ( Wavy Hair)
තරංගාකාර කොන්ඩය සෘජු නොවූ වඩා කැරලි නමුත් අතරමැදි ස්වභාවයක් ගන්නවා. කොන්ඩය අවසානයේ දී තරමක රැළි ස්වභාවයක් බලාගන්න පුළුවන්. මෙම කොණ්ඩයට කොන්ඩ විලාසිතා ඉතා හොඳින් රඳවා ගන්න පුළුවන්. තරමක් රළු සහ මහතින් වැඩි හිසකෙස් වලින් යුක්ත වෙනවා. මෙම කොන්ඩ වර්ගයද උපආකාර තුනකට බෙදන්න පුළුවන්.


🔹කැරලි සහිත කොණ්ඩය ( Curly Hair)
සාමාන්‍ය රැලි රැලි කොන්ඩයකට වඩා කැරලි ස්වභාවයකින් යුක්ත වෙනවා.කිසිදු සෘජු ස්වභාවයක් ගන්නේ නැහැ. මෙම කොණ්ඩය S ආකාරයේ කැරලි නිර්මාණය කරනවා. කැරළි සහිත කොණ්ඩය වඩා ඝනකමින් යුක්ත වෙනවා.   එම කොණ්ඩය ඉතා ඉක්මනින් බොකුටු වීමටත් පැටලුම් ඇතිවීමටත් බලනවා. මෙම කෙස් වර්ගය ද තවත් උපආකාර 3කට බෙදා තියෙනවා.


🔹අවුල් වූ කොණ්ඩය ( Kinky Hair)
මෙම කොන්ඩය රළු ස්වභාවයක් ගන්නවා වගේම ඉක්මනින් කැඩීයාමට ලක්වෙනවා. මෙම හිසකෙස් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවහොත් මේ කැඩීයාමේ හැකියාව තවත් වැඩි වෙනවා. මෙම හිසකෙස් ඉතා අධික ඝනත්වයකින් වගේම අධික කැරලි ස්වභාවයකින් යුක්ත වෙනවා. හිසකෙස් Z හැඩති ස්වභාවයක් ලෙසින් සලකනවා . මේ ආකාරය ද තවත් උපආකාර තුනකට බෙදනවා.


දැන් ඔබට ඔබගේ හිසකෙස් ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා. මේ නිසා යම් යම් නිෂ්පාදන මිලදී ගැනීමේදී වඩා හොඳින් තෝරා ගන්න පුළුවන්. ඉදිරියේදී ඔබගේ හිසකෙස් වලට ගැලපෙන ෂැම්පු ආදී නිෂ්පාදන තෝරා ගන්නා ආකාරය ගැන තවදුරටත් කතා කරමු.


~ස්වාභාවික සුවය~ රූ රහස් ~
(අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්)

Comments

අපට ලියන්න

Name

Email *

Message *